කවුද මේ නුවන් කුලසේකර? කුලේ ගැන නොදත් අය වෙනුවෙන්…
කලක් එක්දින තරගවල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ වැජඹුණු නුවන් කුලසේකර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ආකාරය සහ විස්සයි විස්ස ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට දිනා දීම තෙක් ඔහු ආ ගමන් මග ගැන කළ මතක ආවර්ජනය.
“පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් බලන්න හරි ආසයි. මට හොඳට මතකයි 1996 ලෝක කුසලාන අවසන් මහා තරගය. අරවින්ද අයියා, රොෂාන් අයියා, සනත් අයියා, වාස් අයියා කුඩා කාලයේ මගේ වීරයෝ. ඒ වගේම වකාර් යුනිස්, වසීම් අක්‍රම්, කර්ට්ලි ඇම්බ්‍රෝස් වගේ අය ගැන හරිම උනන්දුවකින් අපි හිටියේ. එයාලා පන්දුව දෝලනය කරන්නේ කොහොමද, අපිට ගන්න තියන හොඳ දේවල් මොනවද කියන එක ගැන සෑහෙන අවධානයක් ලබා දුන්නා.
මම මුලින්ම ගියේ රන්පොකුණුගම කනිෂ්ඨ විද්‍යාලයට. එතැනින් පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට ආවා. මේ පාසල් දෙකේම ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කරන්න පහසුකම් තිබුණේ නෑ. අ.පො.ස සාමන්‍ය පෙළ සමත් වෙලා ගම්පහ බණ්ඩාරනායක විදුහලට ආවාම තමයි මුලින්ම ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. එතකොට මට වයස අවුරුදු 16-17ක් විතර ඇති.
පාසලේ ක්‍රීඩා කරන කොට ශම්මි ලියනගේ අයියා මට කතා කළා නුගේගොඩ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න. මම නුගේගොඩ ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙන කොට ඔවුන් විසිතුනෙන් පහළ තුන්වැනි ශ්‍රේණියේ හිටියේ. නමුත් අවුරුදු දෙකක් ඇතුළත පළමු ශ්‍රේණියට උසස්වීමක් ලබන්න අපිට හැකියාව ලැබුණා.
ඒ දවස්වලම මාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැල් පන්දුයවන්නෙකු ලෙස තෝරාගනු ලැබුවා. චම්පක රාමනායක සහ අනූෂ සමරනායක යන මහත්වරු මට මුලින්ම හමුවන්නේ එහිදී. දැල් පන්දු යවන්නෙකු වූ නිසාම මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යායාමගාරය පාවිච්චි කරන්න ලැබුණා. ලසිත් මාලිංග මට මුලින්ම හමුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යායාමගාරයේ දී. ඒක සමහර විට දෛවෝපගත හමුවීමක් වෙන්න පුළුවන්. ඔහු එතකොට ගාලු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේ.
දවසක් නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රීඩා සමාජය අතර තරගයක් නරඹමින් සිටි හිරාන් ගුණසේකර මහත්මයා මට ගාලු ක්‍රීඩා සමාජය හා එක්වෙන්න ආරාධනාවක් කළා.
මම ගාලු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරපු මුල්ම අවුරුද්දේ ඒ වසරේ පළමුපෙළ හොඳම පන්දුයවන්නා ලෙස තේරෙන්නට මට හැකියාව ලැබුණා. එම තරගවාරයේ දී මම කඩුලු 55ක් දවා ගත්තා. මගේ නව පන්දු සගයා වුනේ ලසිත් මාලිංග. මාලිගේ පන්දුවලට මුහුණ දෙන්න පිතිකරුවන් තරමක් බය වුනා. ඒ නිසා මට අනෙක් අන්තයෙන් කඩුලු දවා ගන්න සෑහෙන ලේසි වුනා.
වැඩි කාලයක් යන්නට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භ කරපු ක්‍රිකට් ඇකඩමියට අප දෙදෙනාවම තෝරාගත්තා. ඔවාන් මතාව්, ලාල් තමිල් වැනි පුහුණුකරුවන් එහි සිටියා. ඇත්තටම කන බොන දේවල්වල ඉඳල අඳින පලඳින විදිය දක්වා හැමදේම ඇකඩමියෙන් අපිට කියා දුන්නා. එය හරිම වැදගත් වැඩසටහනක්.
මුල්ම වරට 2003 වසරේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර වරම් දිනාගන්න මට හැකියාව ලැබුණා. ඒ ආරංචිය ලැබෙද්දී ක්‍රීඩකයෝ විදියට අපි විඳපු දුක්ගැහැට සියල්ල මට යළි මතකයට නැගුණා.
ඒ දවස්වල රන්පොකුණුගම ඉඳන් බස් එකේ පුහුණුවීම්වලට කොළඹ එන්නේ. ලොකු ලොකු බෑග් එල්ල ගෙන එද්දි මිනිස්සුන්ගෙන් බැනුම් අහන වාර අනන්තයි. අප්‍රමාණයි. ඒ වගේම 2005 වසරේ නවසීලන්තයේ නේපියර් හීදී මට ටෙස්ට් වරම් හිමි වුනා.
2005 කාලයේ මට පිට කොන්දේ ආබාධයක් ඇති වුනා. නැවත වතාවක් පළමුපෙළ තරගවලට ගිහින් දස්කම් දක්වලා 2006 එංගලන්ත සංචාරයට එක්වෙන්න මට හැකියාව ලැබුණා. ඒ සංචාරයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වුණ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්න මටත් යම් දායකත්වයක් ලබා දෙන්න හැකි වුනා. මට මතක විදියට අපි පළමු ඉනිමට රැස් කළේ ලකුණු එකසිය අනූ ගණනක්. ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු පන්සිය ගණනක් ලබාගත්තා.
තරඟය ජයපරාජයෙන් තොරව නිමා කරගන්න අපිට දින දෙකහමාරක් පන්දුවට පහර දෙන්න තිබුණා. එදා මට මතකයි අපේ පුහුණුකරු ටොම් මූඩි විශේෂ කතාවක් කළා. ඔහු නිතරම කිව්වේ හොඳ කල්පනාවෙන් ක්‍රීඩා කළොත් දින දෙකක් පන්දුවට පහරදෙන එක අමාරු නෑ කියලා. කණ්ඩායමක් විදියට පන්දුවට පහරදීලා තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්න එදා අපිට හැකියාව ලැබුණා.
ඇත්තටම මේ කාලෙ දී මම කණ්ඩායමට වැඩි දායකත්වයක් දෙන්නෙ කොහොමද කියල හිත හිත හිටියේ. ඒ නිසාම මගේ පිතිහරඹය දියුණු කරගන්නත් මම සෑහෙන මහන්සි වුනා. ඇත්තටම ජෝන් ඩයිසන් නම් අපේ හිටපු පුහුණුකරුවා මාව සෑහෙන දිරිමත් කළා මේ සම්බන්ධයෙන්.
2008 බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී හොඳින් දස්කම් දක්වපු නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පන්දු යවන්නෙක් වීමට මට අවස්ථාව ලැබුණා. එතැනින් පටන්ගත්තු ගමන නැවතුණේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දුයවන්නා බවට පත්වෙලා. මේ කාලය ඇතුළත තිළිණ තුෂාරගෙන් ලැබුණ සහායත් අමතක කරන්න බෑ. ඒ වෙද්දී මාලි ආබාධයකට ලක්වෙලා හිටියේ. නමුත් තිළිණ තුෂාර ඒ වගකීම බාර අරන් පන්දුවෙන් මෙන්ම පිත්තෙනුත් උසස් දස්කම් පෑවා.
ලෝක කුසලාන කිහිපයක අවසන් මහා තරග කිහිපයකටම සහභාගී වුනත් ඒවා ජය ගැනීමට නොහැකි වීම ගැන සෑහෙන දුකක් හිතේ තියනවා. නමුත් 2014 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ලැබීම මගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්.
බොහෝ දෙනෙක් අහනවා අවසන් තරගයේ අපි ප්‍රබල ඉන්දියානු පිතිකරුවන් මෙල්ල කරපු ආකාරය ගැන. ඇත්තටම අපිට ලොකු අවබෝධයක් තිබුණා ඉන්දියානු පිතිකරුවන් ගැන. මොකද 2008 වගේ කාලයේ ඉඳල අපි ඔවුන් සමඟ නොකඩවා ක්‍රීඩා කළා. ඒ වගේම මාලිංගටත් අයි.පී.එල් ක්‍රීඩා කරපු නිසා ලොකු අවබෝධයක් තිබුණා ඉන්දියානු පිතිකරුවන්ගේ දුර්වලතා ගැන.
අපි දෙන්නා පුහුණුකරුවන්ට කිව්ව පිතිකරුවාට ඈතින් යෝකර් පන්දු යවන්න අපි සැලසුම් කරගෙන සිටින බව. පුහුණුකරුවන් අපේ සැලසුම්වලට එකඟ වෙලා අපිට උපරිම සහයෝගය දුන්නා. ඒ වගේම රංගන අයියා, සචිත්‍ර, ඇන්ජි සැලසුම් කරපු ආකාරයටම පන්දු යැව්වා. මේ සියලු කාරණා නිසි ආකාරයෙන් සිදු වුන නිසා නැවත වතාවක් ලෝක කුසලානයක් මව්බිමට ගේන්න අපිට හැකියාව ලැබුණා.
මම පහුගිය කාලයේ ක්‍රිකට් පුහුණුකිරීම් ගැන තරමක අවධානයක් දුන්නා. මම මේ වෙද්දී කොළඹ රාජකීය විදුහලේ සහ මගේ පාසල වන ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙසින් කටයුතු කරනවා. ඒ වගේ ඕස්ට්‍රේලියාවේ ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යෑමට බලාපොරොත්තුවකුත් තිබෙනවා. ඒ අතරතුරේ දිගින් දිගටම පුහුණුවීම් කටයුතුවලත් නිරත වෙනවා.
ලෝක කුසලානය අතරවාරයේ මාලි විශේෂයෙන්ම සඳහන් කළා අපි දෙදෙනාටම ශ්‍රී ලංකාවේ අපේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ සමුගැනීමට තරගයක් ලැබේ නම් හොඳයි කියලා. ඇත්තටම අපේ රටේ අපිට ආදරය කරන අපේම ප්‍රේක්ෂකයින් ඉදිරිපිට සමුගැනීමට එක් තරගයක් හෝ ලැබෙනවා නම් එය මම ලබන විශාල ගෞරවයක්. නමුත් එවන් අවස්ථාවක් ලැබීම හෝ නොලැබීම මගේ පාලනයෙන් පිටත ඇති දෙයක් ලෙසයි මම සලකන්නේ.
මට අවසානයේ කියන්න තියෙන්නේ උපරිම කැපවීමෙන් තමන් කරන දේට අවංකව සහ හදවතින්ම කළොත් ඕනම ක්‍රීඩකයෙකුට ලෝකය දිනා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි.”
Source: Thepapare