ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ Facebook පිටුව

Entertainment

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාගේ ලක්ෂ 11ක් පමණ රසිකයන් පිරිසක් සිටි ෆේස්බුක් පිටුව අක්‍රීය කර ඇත. ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න රූපවාහිනී වැඩසටහනක දී චෝදනා කළේය.

ගිණුම නැවත තමාට හිමිවේ දැයි තමා නොදන්නා බවත් මේ වන විට ඉන්දියාවට කථා කරමින් එය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එක් වෙමින් ඔහු පවසා සිටියේය.

ආණ්ඩුවට වැරදි පෙන්වා දෙන තමා වැනි කලාකරුවෙක් මීට පෙර දැක ඇත්දැයි ඉරාජ් මෙහිදී තව දුරටත් ප්‍රශ්න කර සිටියේය.

මැතිවරණ වැඩ කරන විට තමා තර්ජනයක් ලෙස දකින්නට ඇති බව ද සඳහන් කල ඉරාජ්, ඒ නිසා තමාට පහර දුන් බවත්, එයට අදාළ සියලු සාක්ෂි තමා ළඟ ඇති බවත් පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය ඇතුළේ ඉන්න අය සියලු තොරතුරු තමාට ලබා දුන් බව ද පැවසු ඉරාජ්, මේ පිළිබඳ සමහර විට ජනාධිපතිවරයා හෝ නොදන්නවා ඇති යැයි කියා සිටියේය.

ඥානසාර හිමියන් නිදහස් කිරීමට තමා කථා කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ ගැන අදහස් ප්‍රකාශ කල අයගේ පේජ් අක්‍රීය කිරීමට කටයුතු කර ඇතැයි ද ඉරාජ් වැඩිදුරටත් චෝදනා කළේය.

අද දිනයේ දී තමාට ලක්ෂ 11 නැති වු නමුත් තමා වැටෙන් නැති වුවත් හෙට දවසේ බලා සිටින ඕනෑම අයෙකුට මෙය සිදු විය හැකි බව ද ඔහු පවසා සිටිනවා.

ඥානසාර හිමිගේ ඡායාරූපයක් හෝ අද වන විට ෆේස් බුක් එකේ පළ කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර නීතීඥ සංවිධාන එකමුතුව ද ඉකුත් දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ඉන් සඳහන් කර ඇත්තේ ගායක ඉරාජ් වීරරත්නගේ ෆේස් බුක් පිටුව අක්‍රීය කිරීම, පසුගිය කාලය පුරා ආණ්ඩුවට එරෙහි මත දැරීම හේතුවෙන් ඔහුට අත්විඳීමට සිදුවූ අභාග්‍යසම්පන්න ප්‍රතිඵලයක් ලෙසයි.

READ MORE:  මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂණයේ, ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමට විදේශීය ආයතනයක් වුවද ෆේස්බුක් ආයතනයට ශ්‍රී ලංකා භූමිය තුළ කිසිඳු නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවද ඔවුන් එමඟින් අවධාරණය කරයි.